Storm of a Cup of Tea

පිටරටින් තේ ආනයනය කර ලංකාවේ සුපිරිසිදු තේ සමග මිශ‍්‍ර කර අපනයනය කිරීම ශ‍්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඵලදායී බවට මත පළ වී ඇත. එසේම මෙම මතයට ප‍්‍රතිවිරුද්ධවද ආනයනය කරනු ලබන තේ ලංකාවේ තේ සමග මිශ‍්‍ර කර අපනයනය කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අවසානයේ පළමු පියවරට ළඟා වන බවද පෙන්වා දී ඇත.

මේ පිළිබඳව පක්ෂ හා විපක්ෂ අදහස් බොහෝ විට ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණක් පළ වී ඇති හෙයින් සිංහල කියවන පාඨකයාට මෙම ප‍්‍රශ්නය සම්බන්ධව යථා අවබෝධයක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.

83‍% පමණ වූ ලංකාවේ තේ අපනයනය කරනු ලබන අපනයනකරුවන්ගෙන් සමන්විත තේ අපනයනකරුවන්ගේ සංගමය, ශී‍්‍ර ලංකාවට තේ ආනයනය කර ලංකාවේ පිරිසිදු තේ සමග මිශ‍්‍ර කර අපනයනය කළ යුතු යැයි ස්ථිර වශයෙන් විශ්වාසය පළ කර ඇත. මෙම යෝජනාව තේ කර්මාන්තයට සහ අපනයනයට හානිදායක බව තේ වැවිලිකරුවන්ගේ සංගමයත්, සුළු තේ වතු හිමියන්ගේ සංගමයත් ඉතා දැඩි ලෙස පෙන්වා දී ඇත.

ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය මෙම යෝජනාව පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක යෙදෙන බව ප‍්‍රකාශ කර ඇත. කෙසේවෙතත්, මහා භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව කි‍්‍රයාත්මක කිරීම තේ කර්මාන්තයේ යහපතට හේතු නොවන බව දැනටමත් සදහන් කර ඇත.

තේ කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායමට 1‍% පමණ දායකත්වයක් දක්වයි. ශ‍්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ මිලියන 330ක් පමණ වන අතර එයින් කිලෝ මිලියන 323ක් පමණ අපනයනය කරනු ලැබේ. ශී‍්‍ර ලංකාව ලෝක තේ නිෂ්පාදනයෙන් 8‍ % පමණ දායක වන අතර ලෝක අපනයනයෙන් 18‍% ක් පමණ වග කියනු ලැබේ. තේ වගාවට යට වී ඇති භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 222,000 පමණ වන අතර එයින් තේ දලූ නෙලා ගන්නා බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 185,000ක් පමණ වේ. මිලියන 2.5ක් පමණ අති විශාල සේවකයින් පිරිසක් මෙම කර්මාන්තයේ නියැලී ඇත. තේ අපනයනයෙන් දැනට ලබන ආදායම ඩොලර් බිලියන 1.5ක්  වන අතර එම ප‍්‍රමාණය බිලියන 5 දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂාවක් ඇත. මේ අනුව තේ වගාව, තේ කර්මාන්තය හා අපනයනය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට පොදුවේත්, සේවා නියුක්තියට හා විදේශ විනිමය උපයා ගැනීමට ඉතා සෘජුවම මහත් දායකත්වයක් දරයි. එසේ ආර්ථිකයේ සුවිශේෂ තැනක් ගන්නා තේ කර්මාන්තයට අදාලව ගන්නා ප‍්‍රතිපත්ති තීරණ ඉතා කල්පනාතාරීවත් සුපරික්ෂාකාරීවත් ගත යුතු බව වාණිජ මණ්ඩල සම්මේලනය අවධාරණය කරනු ලබයි.

අපනයනය කිරීම සඳහා තේ ආනයනය කිරීම යෝග්‍ය යැයි තර්ක කරන බොහෝ දෙනෙකුගේ මතය වන්නේ අපගේ තේ අපනයන ආදායම වැඩිකර ගැනීම පිණිස ශී‍්‍ර ලංකාවේ දැනට නිෂ්පාදනය කරනු ලබන තේ ප‍්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේ දී තේ නිෂ්පාදනය වැඩි කිරීමට ඇති හැකියාව අඩු බවත් එනිසා ඉදිරි අපනයන ඉලක්ක සපුරා ගැනීම පිණිස තේ ආනයනය කර ලංකාවේ තේ සමග මිශ‍්‍ර කර අපනයනය කිරීම හැර වෙනත් මාර්ගයක් නොමැති බවත්ය.

තේ අපනයනකරුවන්ගේ තවත් මතයක් වන්නේ මෙවැනි යෝජනා ක‍්‍රමයක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක නොකළත් දැනටමත් ලංකාවේ තේ තොග වශයෙන් ආනයනය කර ඇතැම් විදේශික ව්‍යාපාරිකයන් වෙනත් ප‍්‍රභවයන් සහිත තේ සමග මිශ‍්‍ර කර ලෝක තේ වෙළඳපලේ දැනටමත් සාර්ථකව අලෙවි කරන බවයි. විදේශයන්හිදී කරනු ලබන මෙම කි‍්‍රයාවලිය නැවැත්වීමට අපට හැකියාවක් නැති බැවින් මිශ‍්‍ර කරනු ලැබූ තේ සමග සාර්ථක ලෙස තරඟ කිරීමට ලංකාවේ සුපිරිසිදු තේ වලට හැකියාවක් නැති බව ද ඔවුන්ගේ මතයයි. විදේශයන්හිදී මිශ‍්‍ර කර වෙළඳපලට දමනු ලබන තේ වල මිල අඩු බවත් ලංකාවේ සුපිරිසිදු තේ වල මිල ඉතා ඉහළ බවත් ඒ අනුව ලෝක වෙළඳපලේ පාරිභෝගිකයින් ශ‍්‍රී ලංකාවේ තේ වලින් ඉවත්ව අඩු මිලට ඇති මිශ‍්‍ර කරනු ලැබූ තේ වැඩියෙන් මිලට ගනු ලබයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ලංකාවේ තේ වලට ලෝක වෙළඳපලේ ඉල්ලූම අඩු වී තේ අපනයනකරුවන්ට හා වගාකරුවන්ට අවාසියක් සිදු වන බවයි.

තේ අපනයන කරුවන්ගේ තවත් තර්කයක් වන්නේ නූතන පාරිභෝගිකයා තේ පරිභෝජනය කරන ක‍්‍රමයන්හි ඇති වී ඇති වෙනස්කම් වලට අනුව සම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකික තේ පිළිබඳව ඇති ලැදියාව ලෝක වෙළඳපලේ ක‍්‍රමයෙන් පිරිහෙන බවත්ය. නූතන ලෝකයේ පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ කල්වේලා ගෙන සැකසිය හැකි තේ කෝප්පයක් නොව ඉතා ඉක්මණින් පරිභෝජනය කළ හැකි හා සකස් කළ හැකි නවීන පන්නයේ උණුසුම් හෝ සීතල බීමකි. සාම්ප‍්‍රදායික ලාංකික තේ විකුණුම් සංකල්පය නූතන පාරිභෝගිකයන්ගේ හැසිරීම් රටාවට අනුගත වී නැත. මෙම පාරිභෝගික ප‍්‍රවනතාවයට පිළිතුරක් වන්නේ පුද්ගලික සන්නාම සහිත අඩු මිලකට පහසුවෙන් පරිභෝජනය කළ හැකි තේ වෙළඳපලට නිකුත් කිරීමයි. මේ සඳහා විවිධ වර්ගයේ තේ ආනයනය කර ලංකාවේ තේ සමග මිශ‍්‍ර කර විවිධාකාර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ලෝක වෙළඳපලට ඉදිරිපත් කිරීමයි. දැනටමත් විවිධ රස ගැන්වූ විශේෂිත තේ වර්ග – ගී‍්‍රන් තේ, හර්බල් තේ, සුවඳ කළ තේ ආදියද සීත කළ හා ඇසුරුම් වල බහාලූ තේ වෙළඳපලේ සාම්ප‍්‍රදායික ශී‍්‍ර ලාංකීය තේ සමග තියුණු ලෙස තරඟ කරයි. එසේම සාම්ප‍්‍රදායික තේ වෙනත් බීම වර්ග වන කෝපි, ජලය, වයින් ආදිය සමග ද තරඟ කරනු ලැබේ. උදාහරණයක් ලෙස කෝපි පරිභෝජනය සඳහා විවිධ වර්ගයේ නවීන පරිභෝජන රටාවන් හඳුන්වා දීමත් සමග තරුණ පිරිස් අතර ජනපි‍්‍රය වී ඇත. ලංකාවේදී වුවත් බොහෝ උත්සවයන්හිදී නෙස්කැෆේ භාවිත කරනු දක්නට ලැබේ. තේ පරිභෝජනයන් ද මෙවැනිම විප්ලවකාරී වෙනසක් ඇති කළ හැක්කේ සාම්ප‍්‍රදායික පරිභෝජන රටාවෙන් ඈත් වී නූතන ලෝකයට යෝග්‍ය පරිදි තේ අලෙවි කරන වැඩපිළිවෙළක් සකස් කළහොත් පමණක් යැයි තේ අපනයනකරුවන් විශ්වාසය පළකර ඇත.

තමන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතා පහළ තත්ත්වයේ මිල අඩුම තේ නොවන බවත්, ලංකාවේ සුපිරිසිදු තේ අපනයනය සඳහා තව දුරටත් මිලදී ගන්නා බවත්, තමන්ගේ අභිලාශය ආනයනය කරනු ලබන තේ සමග ලංකාවේ සුපිරිසිදු තේ මිශ‍්‍ර කර ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන මුලූ තේ ප‍්‍රමාණය වර්ධනය කර ශී‍්‍ර ලංකාවට වැඩිපුර විදේශ විනිමය හා රැකියා අවස්ථා ඇති කිරීම බවයි. මෙගින් ලංකාවේ තේ කර්මාන්තයට හා වගාවට යහපතක් මිස කිසි අයහපතක් මෙම යෝජනාවෙන් නොවන බව තේ අපනයනකරුවන්ගේ අදහසයි.

වැවිලිකරුවන්ගේ සංගමයත්, සුළු තේ වතු හිමියන්ගේ සංගමයත් ඇතැම් අපනයනකරුවනුත් සාම්ප‍්‍රදායික තේ ආනයනය කිරීමට විරුද්ධව ඉතා ප‍්‍රබල තර්ක රාශියක් ඉදිරිපත් කර ඇත. එයින් ප‍්‍රධානතම කරුණ වන්නේ තේ අපනයන කරුවන් සියලූ දෙනාම මෙම යෝජනාවට කැමැත්තක් නොදක්වන බවත් ඇතැම් අපනයනකරුවන්ද මේ යෝජනාවට තදින්ම විරුද්ධ වන බවත්ය. එසේම මුලූ තේ නිෂ්පාදනයෙන් 70‍% ක් පමණ නිෂ්පාදනය කරනු ලබන ලක්ෂ 4ක් පමණ වන කුඩා ඉඩම් කොට්ටඨාස සහිත තේ වගා කරුවන් මෙම යෝජනාවට තදින්ම විරුද්ධව ඇත. ඔවුන්ගේ මතය වන්නේ අපනයනකරුවන් සාම්ප‍්‍රදායික තේ අඩු මිලට විදෙස් රටවලින් ආනයනය කිරීමත් සමග ලංකාවේ තේ සඳහා ඇති ඉල්ලූම අඩු වී තේ මිල පහත වැටී වගාකරුවන්ට යන එන මං නැති වීමට ඉඩකඩ ඇති බවයි.

ශ‍්‍රී ලංකාව ලෝකයේ ඉතාම පිරිසිදු තේ නිපදවන රට ලෙස දැනටමත් ප‍්‍රචලිත වී ඇති නිසා වෙළඳපලේ ලංකාවේ තේ සඳහා සුවිශේෂී තත්ත්වයක් හිමි වී ඇත. ලංකාවේ තේ නිෂ්පාදනයේදී පලිබෝධක රසායන ද්‍රව්‍ය භාවිතය ඉතා අඩුවෙන් කරන බැවින් අපේ රටේ තේ වලට විශේෂිත මිලක් හා නමක් ලෝක වෙළඳපොලේ ලැබී ඇත. ආනයනිත තේ ලංකාවේ තේ සමග මිශ‍්‍ර කර අපනයනය කිරීමෙන් මේ ලබා ගත් සුවිශේෂී ජයග‍්‍රහණය අපට අහිමි වී යනු ඇත.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇති KYOTO සංධානයේ ප‍්‍රතිපත්ති අනුව අපගේ තේ පරිසර හිතකාමී ලෙස වගා කරන බවට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇත. අනෙක් තේ නිපදවන රටවල් වලින් ආනයනය කරනු ලබන තේ මෙම පරිසර ප‍්‍රතිපත්ති අනුව නිෂ්පාදනය කර නැත. පරිසර ප‍්‍රතිපත්ති වලට අනුකූල නොවන ලෙස නිෂ්පාදනය කරනු ලැබූ බාල තේ අපේ තේ සමග මිශ‍්‍ර කර අපනයනය කිරීමෙන් අප මේතාක්  ලබා ගත් ජයග‍්‍රහණයන්  පාවාදීමක් වෙනු ඇතැයි තේ වගා කරුවන් විශ්වාස කරනු ලැබේ.

බුද්ධිමය දේපල පනත යටතේ භූගෝලීය විශේෂතාවයක් දරන නිෂ්පාදනයක් ලෙස ලංකාවේ තේ අපනයනය කිරීමටත් ප‍්‍රවර්ධනය කිරීමටත් එමගින් විශේෂිත මිලක් ලබා ගැනීමටත් ප‍්‍රතිපත්ති සම්පාදකයන් දැනට කටයුතු කරනු ලැබේ. ඒ අනුව නුවරඑළිය, ඌව, රුහුණ ආදී භූගෝලීය කලාප වල වැවෙන තේ වල ඇති විශේෂිත රසය, සුවඳ හා පැහැය අනුව එම තේ සුවිශේෂ වර්ගයේ තේ ලෙස වෙළඳපලේ අලෙවි කිරීමට නීත්‍යනුකූල රාමුවක් සකස් කර ඇත. ආනයනිත තේ සමග ලංකාවේ තේ මිශ‍්‍ර කර අපනයනය කිරීමෙන් මෙම ප‍්‍රතිපත්තිය තව දුරටත් කි‍්‍රයාත්මක කිරීමට හැකි නොවනු ඇත.

තේ ආනයනය කිරීමේදී රටින් විදේශ විනිමය විශාල ලෙස පිටවනු ඇත. මෙම යෝජනාවට පක්ෂ අපනයනකරුවන්ගේ තර්කය වන්නේ ආනයන වියදමක් දැරුවත් ලංකාවේ තේ සමග මිශ‍්‍ර කිරීමෙන් එකතු කළ අගය මත ඇති වන වටිනාකම වැඩිවී ඉන් ඇති වන වාසි නිසා වැඩි අපනයන ආදායමක් ලැබී සිදුවන ආනයන වියදමට වඩා වැඩි සමස්ථ ආදායමක් ලැබී රටට වාසි සිදුවන බවයි. මෙම තර්කය අර්ධ සත්‍යයක් බව ලංකාවේ තේ වගාකරුවන්ගේ මතයයි. අඩු මිලට බාල තේ ආනයනය කරනවාට වඩා සුවිශේෂී ගුණයන්ගෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සුපිරිසිදු තේ වැඩි මිලට අපනයනය කිරීමෙන් වඩා වැඩි විදේශ විනිමයක් රටට ගලා එන බව තේ වගාකරුවන්ගේ විශ්වාසයයි. මේ සඳහා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සන්නාම (Private Brand Name) දියුණු කිරීමට කටයුතු කළ යුතුය. දැනටමත් ලංකාවේ අපනයනයන්ගෙන් 12‍% ක් පමණ පෞද්ගලික සන්නාම යටතේ ඉතා සාර්ථක ලෙස තේ අපනයනය කරනු ලැබේ. උදාහරණයක් ලෙස  “Delma” තේ ඔස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ ප‍්‍රධානතම තේ සම්බන්ධව සන්නාමය බවට පත්ව ඇත.

තේ 100‍% ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රබවය වන වෙළඳ භාණ්ඩයකි. එසේම තේ නිෂ්පාදනය හා අපනයනයේ 100‍% ක්ම එකතු කළ වටිනාකමට ඇතුළත් වේ. එයට හේතුව නම් තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ආනයනිත අමු ද්‍රව්‍ය හා යෙදවුම් ඉතා අවම මට්ටමක පැවතීමයි. මේ ආර්ථික සාධකය මත කළ යුත්තේ, තේ ආනයනය කිරීම නොව ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ වල ඵලදියීතාවය වැඩි කිරීමටත් නිෂ්පාදන වියදම අඩු කර විවිධ වෙළඳපලවල් වලට අවශ්‍ය විවිධ වර්ගයේ තේ අපනයනය කිරීම ධෛර්යමත් කිරීමට ප‍්‍රමුඛතාවයක් දී කටයුතු කිරීම බව බොහෝ දෙනාගේ මතයයි.

ආනයනිත තේ සමග ශී‍්‍ර ලංකාවේ සුපිරිසිදු තේ මිශ‍්‍ර කර අපනයනය කරනවාට වඩා ආර්ථික වශයෙන් රටටත් තේ නිෂ්පාදකයන්ටත් වගාකරුවන්ටත් අපනයනකරුවන්ටත් වඩා වාසිදායක හා ප‍්‍රතිඵලදායක වන්නේ ශී‍්‍ර ලංකාවේ තේ නිෂ්පාදනය කරනු ලබන තේ ප‍්‍රමාණය හා තේ වල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීමට කටයුතු යෙදීම බව තේ වගාකරුවන් පෙන්වා දී තිබේ.
මෙම සියලූ ප‍්‍රශ්න වලට හේතුව වන්නේ ලංකාවේ තේ අක්කරයකින් ලැබෙන ඵලදාව ඉතා අඩු වීමත් තේ නිෂ්පාදනය සඳහා යන වියදම වැඩිවීමත්ය. මහ බැංකු සංඛ්‍යා ලේඛණ අනුව තේ කිලෝ ග‍්‍රෑම් 1ක් නිෂ්පාදනය සඳහා රු. 350ක සාමාන්‍ය වියදමක් දැරීමට සිදුවන අතර කොළඹ තේ වෙන්දේසියේදී තේ කිලෝ ග‍්‍රෑම් 1කට ලැබෙන මිල වන්නේ රු. 360කි. සාමාන්‍ය අපනයන මිල තේ කිලෝ ග‍්‍රෑම් 1ක් සඳහා රු. 510ක් වේ. වෙනත් තේ නිෂ්පාදනය කරන රටවල් සමග සංසන්දනය කරන විට ලංකාවේ තේ නිෂ්පාදන වියදම වැඩි බව පෙනේ. මීට ප‍්‍රධාන හේතුව ලංකාවේ තේ වගාවෙන් 90‍% ක් පමණ අවුරුදු 60කටත් වඩා පැරණි තේ ගස් වීමය. තේ නැවත සිටුවීම හා අලූතෙන් සිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථක වී නැත. එසේම ප‍්‍රවාහනය, විදුලිය හා ශ‍්‍රමය සඳහා විශාල මුදලක් තේ නිෂ්පාදනයේදී වැය කිරීමට සිදුවී ඇත. ලංකාවේ තේ හෙක්ටයාරයකින් ලැබෙන ඵලදාව සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 2800ක් පමණ වන අතර කීනියා රටේ තේ හෙක්ටයාරයකින් කිලෝ ග‍්‍රෑම් 3200ක් පමණ ඵලදාව ලැබේ. තේ ඵලදාව වැඩි කිරීම සඳහා තේ නැවත සිටුවීමේ ව්‍යාපාරය පිළිබඳව සම්පූර්ණයෙන්ම පසු විපරමක් කිරීම ඉතා යහපත්ය.

රජය මෙම යෝජනාව සම්බන්ධව අධ්‍යයනය කරනු ලබන හෙයින් මෙම ලිපිය මගින් නිශ්චිත අදහසක් යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව දැක්වීමට අදහස් කරනු නොලැබේ. යෝජනාවට පක්ෂව හා විපක්ෂව ඇති ආර්ථික හා සාමාජීය කරුණු සිංහල කියවන පාඨකයාට දැන ගැනීම පිණිස ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෙම ලිපිය සකස් කරන ලද්දේ ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ පර්යේෂණ හා ප‍්‍රතිපත්ති උපදේශන අංශය මගිනි. මෙවැනි කරුණු සම්බන්ධව සාකච්ඡ කරනු ලබන පර්යේෂණ ලිපි රැසක් Trade Watch Blog – – www.blog.fccisl.lk  විද්‍යුත් මණ්ඩපයට පිවිසීමෙන් ලබා ගත හැක. මෙම ලිපියේ පළ කර ඇති අදහස් සම්බන්ධව ඔබගේ විවේචන හා යෝජනාkulatunga@fccisl.lkයන විද්‍යුත් ලිපිනයට එවන්නේ නම් ස්තුති වන්ත වෙමු.