Federation of Chambers of
Commerce and Industry of Sri Lanka

ජනපති ඉන්දීය සංචාරයෙන් නව වෙළඳ සබදතා වර්ධනයක්…..වැඩි දුර තොරතුරු

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ඉන්දීය සංචාරය තුළින් මෙතෙක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන මට්ටමක පැවතී වෙළඳ ගිවිසුම් ඉතාම සුභවාදී ලෙස ක්‍රියාත්මක වීමේ පසුබිම සැකසෙමින් පවතින බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා පවසයි.

“ඉන්දියාව කියන්නේ ලෝක වෙළඳ බලවතෙක්. ඉන්දියාව සමඟ වෙළඳ සබදතා පැවැත්වීම අපේ ආර්ථිකයට බලපාන ප්‍රබල සාධකයක්. පසුගිය කාලයේ අත්සන් කළ සෆ්ටා වැනි ගිවිසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ අපනයනයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. එත් දැන් එම තත්ත්වය පහවී යාමට පසුබිම සැකසෙනවා. ඇත්ත වශයෙන්ම යහපත් වෙළඳ සබදතාවයක් ඇති වෙන්න මෙම ජනපති සංචාරය බෙහෙවින්ම ඉවහල් වන කාරණයක් වේවි. “

අජිත් වත්තුහේවා මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ මෙරට සංචාරයක නිරත විදේශීය ආයෝජකයන් කණ්ඩායමක් සමඟ පැවතී ද්වී පාර්ශවික සාකච්ඡාවක් අතරතුරදීය. තව දුරටත් අදහස් දක්වන වත්තුහේවා මහතා, “ඉන්දියානු සාධකය කියන්නේ ශ්‍රී ලංකාවට මෙන්ම කලාපීය වශයෙන් දැවැන්ත වෙළඳ ආර්ථිකයක් පවතින රටක්. ඒ රට තුළ පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් තම රටක ආර්ථික ශක්තිමත් බවක් ඇතිවෙන්නේ. සිංගප්පුරුව වැනි සේවා ආර්ථිකයකින් ස්වයංපෝෂිත වුණු රටකට වඩා අපේ රටේ පවත්නා සම්පත් හරහා ඇතිවන නව නිෂ්පාදන විදේශීය වෙළඳපොල වෙත ප්‍රවේශවීමේ ශක්තිමත් ආර්ථිකයක් ඇතිවීමේ මුලික පසුබිම වෙනවා. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් සඳහා සුදුසුම වෙළඳපොල පවතින්නේ ඉන්දියාවේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි ඉන්දියා ශ්‍රී ලංකා වෙළඳ සංවාදයක් අපි ගොඩ නගන්න හදන්නේ. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙන ඉන්දියා ශ්‍රී ලංකා ආර්ථික සංවාදය 2015 (ICE Dialog) තුළින් අපි ඒ සඳහා විවෘතව සාකච්ඡාවක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඉන්දීය නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳපොල තුළ විශාල ඉඩක් පවතිනවා. ඒ වාගේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ද එවැනිම මට්ටමක වෙළඳපොල නිර්මාණය කර ගැනීමට පසුබිම මෙමගින් සැකසිය හැකි බව වත්තුහේවා මහතාගේ අදහසයි. විශේෂයෙන් සාර්ක් කලාපය තුළ “නිර්බාධා ආයතන නිර්යාත සංස්කෘතියක්” ඇතිවීම හරහා කලාපීය රටවල් තුළ ආර්තිකමය වශයෙන් විශාල ශක්තිමත් බවක් ගොඩනැගෙන බවට විශ්වාසයක් පවතින බව වත්තුහේවා මහතා ප්‍රකාශ කර සිටී.

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඇති වු දේශපාලන ආර්ථික නව්‍යතාවයන් හේතුකොට වැඩි විදේශීය ආයෝජකයන් පිරිසක් පැමිණීම සඳහා තොරතුරු විමසීම් කරන බවත්, පැමිණ සිටින ආයෝජකයන් තුළ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව ධනාත්මකව සිතන්නට පටන්ගෙන ඇති බවක් පවසයි.

මෙම ද්වී පාර්ශවීය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා වෙළඳ හා කර්මාන්ත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වී සිටියහ.