Federation of Chambers of
Commerce and Industry of Sri Lanka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැබෙන අවධානය ඉතාම අවමයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැබෙන අවධානය ඉතාම අවමයි

අජිත් වත්තුහේවා, සභාපති, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය

පසුගිය දශක කිහිපය පුරා මෙරට පැවති කිසිදු රජයකින් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි දක්වන අවධානය පිලිබඳ කිසිසේත්ම තමන්ට සෑහීමකට පත් විය නොහැකි යැයි ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටී. පසුගියදා කොළඹදී පැවතී වාණිජ මණ්ඩල ප්‍රධානීන්ගේ සම්මේලනය අවසානයේ ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දක්වන අජිත් වත්තුහේවා මහතා,

“මේ රටේ සෑම ව්‍යපාරිකයෙකුගේම ආරම්භය වන්නේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයයි. එවැනි අවධියකින් පටන්ගෙන මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු දක්වා පැමිණෙන ගමනේදී ඇති වන බාධක ඉතාම විශාලයි. බොහෝ දෙනෙකු මෙම බාධක හමුවේ ව්‍යාපාරික බිඳ වැටීමකට පත්ව අසරණ තත්තවයකට පත් වෙනවා. එවැනි අවස්ථාවක රාජ්‍ය අංශයේ මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. එහෙත් මෙතෙක් පැවතී කිසිදු රජයක එවැනි පැහැදිලි මැදිහත් වීමක් දකින්න ලැබුණේ නැ.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සඳහා ව්‍යාපාරික සුරක්ෂිතතාවය උදෙසා පැහැදිලි දැක්මක් තිබිය යුතුයි. රටක දියුණුව පවතින්නේ එවැනි තත්ත්වය මත. චීනය, ඉන්දියාව, කොරියාව වගේ රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සුරක්ෂිතතාවය උදෙසා විශේෂ වැඩසටහන් තිබෙනවා. ඉතාම ශක්තිමත් මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු ගොඩ නගන්න හොඳ පදනමක් අවශ්‍ය බව එවැනි රටවල රජයන් තුළ පවතින අවබෝධ එයට හේතුවයි.

අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදය තුළ ඉතාම සීග්‍ර ලෙස ව්‍යාපාර කඩා වැටීමක් සිදු වුණා. එම කඩා වැටීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රමාණවත් රාජ්‍ය මැදිහත් වීමක් නොවීමයි. ව්‍යාපාරිකයන් ව්‍යාපාර අතහැර යාමක් පැවතියා. පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙවැනි කඩා වැටීම් හේතුවෙන් දේශීය ප්‍රධාන ආර්ථික ව්‍යුහය සඳහා ඍජු බලපෑමක් ඇති වුණා. ප්‍රධාන වශයෙන් රැකියා වියුක්තිය වැඩි වන්නට පටන් ගැනුණා. මේ රටේ පුද්ගලික අංශ රැකියා 70%ක් පමණ අයත් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට. එවැනි ව්‍යාපාර කඩා වැටීමෙන් රැකියා වියුක්තිය ඉහළ යන බව රජය දැන ගත යුතුයි.

එමෙන්ම බැංකු සේවා, බදු සහන ආදී සෑම අංශයක් තුළදීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා වෙත යොමු වන අවධානය අඩුයි. ඉන්දියාව පසුගිය කාලපරිච්ඡේදය තුළ ලැබූ සීග්‍ර ආර්ථික වර්ධනයට හේතුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි යොමු වූ රාජ්‍ය අවධානය වැඩිවීමයි”.

දින දෙකක් පුරා කොළඹ නගරය කේන්ද්‍රව පැවතී මෙම වාණිජ මණ්ඩල ප්‍රධානීන්ගේ වාර්ෂික සම්මේලනය සඳහා දේශීය, විදේශීය වාණිජ මණ්ඩල ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියහ. එහිදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත වැඩි රාජ්‍ය මැදිහත් වීමක් උදෙසා රජය වෙත ඉදිරිපත් කිරීම සඳහා සුදුසු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ඉතාම දීර්ඝව සාකච්ඡා කරන ලදී. අවසානයේ රජය වෙත ඉදිරිපත් කිරීම සඳහා ඉල්ලීම් පත්‍රිකාවක් පිළියෙළ කර සම්මත කර ගන්න ලදී.

විශේෂයෙන්ම මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය අදාළ ක්‍රියාත්මක වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රජයේ විශේෂ අවධානය යොමු කරවීම මෙහිදී මුලිකත්වය ලබා දෙන අතරම ව්‍යවසායකත්ව සුරක්ෂිතතාවය තුළින් රැකියා සුරක්ෂිතතාවය සඳහා පසුබිම සකස් කිරීම මෙහි මුලික පරමාර්ථයයි.

මෙම වාණිජ මණ්ඩල ප්‍රධානීන්ගේ වාර්ෂික මහා සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම වාණිජ මණ්ඩල නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන් සියලු දෙනා සහභාගී වී සිටියහ. එමෙන්ම කාන්තා අංශය නියෝජනය කරමින් ඉතාම ඉහළ මට්ටමක නියෝජනයක් තිබීම මෙහිදී සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කළ හැක.

DSC_0073

DSC_0101

DSC_0086

DSC_0017

DSC_0020